පින්බර වෙකස් පොහොය දිනයක් වේවා !

තිලෝගුරු සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උත්පත්තිය, බුද්ධත්වය හා පරිනිර්වාණය යන ත්‍රිවිධ මංගල්‍යය සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවටම ඉතා සුවිශේෂී දිනයකි.

එදා ලුම්බිණි සල් උයනේ දී සිද්ධාර්ථ කුමාරයා ලෙසින් උප්පත්තිය ලැබූ බෝසතාණන් වහන්සේ ජීවිතය පිළිබඳව කලකිරීමෙන් පසුව 29 හැවිරිදි වියේ දී ගිහිගෙයින් නික්ම ගියා. ඉන් අනතුරුව වසර 6ක් දුෂ්කර ක්‍රියා කළත් බුද්ධත්වයට පත්වීමට හැකිවුණේ නැහැ. නමුත් ඉන් පසුව අත්ථ කිලමතානු යෝගය සහ කාම සුඛල්ලිකානු යෝගය අත් හැර මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කළ බෝසතාණන් වහන්සේ ටික කලකින් බුද්ධගයාවේ ඇසතු බෝ රුක් මුලක දී බුද්ධත්වයට පත්වුණා. එලෙස බුද්ධත්වයට පත්වුණු අප මහා බුදුරජාණන් වහන්සේ වසර 45ක් ලෝක වාසීන්ගේ හිත සුව පිණිස කටයුතු කළා. එදා ලෝක වාසීන්ගේ යහපත වෙනුවෙන් කටයුතු කළ අප මහා බුදුරජාණන් වහන්සේ 80 හැවිරිදි වියේ දී පරිනිර්වාණය කළේ කුසිනාරා නුවර මල්ල රජදරුවන්ගේ සල් උයනේ දී යි. 

 වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම්

සතර පෙරනිමිතිවල ව්‍යාධි රූපය දැකීම 

සිද්ධාර්ථ කුමාරයා සතර පෙරනිමිති දැකීමෙන් පසුව ලෝකවාසීන් දුකින් මුදාගැනීම සඳහා ගිහිගෙය හැර ගියා. සිද්ධාර්ථ කුමාරයා එලෙස දුටු සතර පෙරනිමිතිවලින් ව්‍යාධි රූපය දුටුවේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනක දී යි. ඒ අනුව වෙසක් පොහොය දිනයක සිදුවුණු වැදගත් සිදුවීම් අතරට එයත් ඇතුළත් වනවා.

යමා මහා පෙළහර පෑම 

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී දස මසකින් සිය උපන් ගම වුණු කිඹුල්වත් පුරයට වැඩම කළා. එම ගමනේ දී බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් තුළ තිබුණු මාන්නය දුරු කරලීම සඳහා යමා මහා පෙළහර පානු ලැබුවේත් වෙසක් පොහොය දිනයක දී යි. 

ආනන්ද හිමියන් පිරිනිවන් පෑම 

බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා ලෙසින් කටයුතු කළේ ආනන්ද තෙරුන් වහන්සේ යි. බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රෝහීණී ගඟ මධ්‍යයේ වාසය කළ ආනන්ද මහා රහතන් වහන්සේ වසර 120ක් ආයු වළදා පිරිනිවන් පෑවේ වෙසක් පොහොය දිනයක දී යි.

බුදුරජාණන් වහන්සේගේ තෙවන ලංකාගමනය සිදුවීම 

බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වී වර්ෂ 8කට පසුව මණිඅක්ඛිත නා රජුගේ ආරාධනයෙන් කැළනියට වැඩම කළේ වෙසක් පොහොය දිනයක දී යි. එදිනම සුමන සමන් දිව්‍ය රාජයාගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ සමනල කන්දට වැඩම කර එහි දී දිවා විහරණය කළා.  

විජය කුමරුගේ ලංකාගමනය 

බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වුණු වෙසක් පොහොය දිනයේම විජය කුමරු ඇතුළු සත් සියයක් පිරිස ලංකාවට පැමිණියා. එලෙස පැමිණි විජය රජතුමා පසුව කුවේණියගේ ආධාරය ද ඇතිව ලංකාවේ පළමු රජතුමා ලෙසින් අභිෂේක ලැබුවා.

දේවානම්පියතිස්ස රජුගේ දෙවන රාජාභිෂේකය සිදුවීම 

දේවානම්පියතිස්ස රජුගේ හොඳම මිතුරෙකු වුණු ධර්මාශෝක රජතුමා විසින් එවන ලද සිංහාසනය, කඩුව, ඔටුන්න, හක්ගෙඩිය, සහ මිරිවැඩි සඟල යන පංච කකුධ භාණ්ඩ සහිතව දේවානම්පියතිස්ස රජතුමා දෙවන වරටත් රාජාභිෂේකය ලැබුවේ වෙසක් පොහොය දිනයක බව ලංකා ඉතිහාසයේ සඳහන් වනවා. 

වෙසක් පොහොය දිනයේ සිදුවුණු තවත් විශේෂ සිදුවීම් 

ඉහත සිදුවීම්වලට අමතරව රුවන්වැලි සෑයේ වැඩ ආරම්භ කිරීම සහ මහා විහාරයේ උපසම්පදා උත්සවය මුල්ම වරට ආරම්භ වීම වැනි සිදුවීම් ද සිදුවුණේ වෙසක් පොහොය දිනයක දීයි. ඊට අමතරව අතීතයේ දී සිංහල බෞද්ධ රජවරුන්ගේ අභිෂේකය කර තිබෙන්නේ ද වෙසක් පොහොය දිනයකයි. 

මෙවර නිවෙස් වලට වී වෙසක් පොහොය දින ආගමික කටයුතු කිරීමට සිදු වූ මේ මහා covid-19 ව්‍යසනයෙන් පීඩාවට දුකට පත් වූ මුලු මහත් ලංකා වාසී ලෝක වාසී සියලුම දෙනා සුවපත් වේවා යන්න සිංහ නිව්ස් අපේ පැතුමයි.