මේ ආහාර වලින් දියවැඩියාව පාලනය කරන්න පුළුවන් කියලා දැනගෙන හිටියාද?

දියවැඩියාව කියන්නේ ඔබ අපි කවුරුත් අහල තියෙන රෝගයක්. ලෝක ජනගහනයෙන් මිලියන 450ක් විතර ප්‍රමාණයක් දියවැඩියා රෝගීන් ඉන්නවා. දියවැඩියාව ඇති වෙන්න ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුවක් වෙන්නේ අපේ ආහාර රටාව. පිෂ්ඨය සහ තෙල් අධික ආහාර වැඩි වශයෙන් පරිභෝජනය කරන පුද්ගලයන්ට දියවැඩියාව වැළඳීමේ වැඩි අවදානමක් තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද කාලේ අපි ගන්න ගොඩක් ආහාර වර්ග නිසා දියවැඩියාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි සමහර ආහාර තියෙනවා දියවැඩියාව පාලනය කරන්න උපකාරී වෙනවා. හැබැයි ගොඩක් දෙනාට ඒ ආහාර වල ගුණ ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා අද මේ ලිපියෙන් අපි දියවැඩියාව පාලනය කරන්න උපකාරී වෙනවා ආහාර කිහිපයක් ගැන කතා කරනවා. 

බෝංචි

බෝංචි කියන්නෙත් දියවැඩිය රෝගීන්ට ඉතාම හොඳ ආහාරයක්. බෝංචි වලට දියවැඩියාව පාලනය කිරීමේ ලොකු හැකියාවක් තිබෙන බව වෛද්‍ය පර්යේෂණ වලින් පවා තහවුරු වෙලා තියෙනවා. අඩු ග්ලයිසමික් අගයක් පැවතීම සහ ප්‍රෝටීන්, විටමින්, සහ ඛනිජ ලවන බහුල වීම නිසා බෝංචි දියවැඩියා රෝගීන්ට ලබාදෙන්න සුදුසුම ආහාරයක් විදිහට සැලකෙනවා. 

කරවිල 

කරවිල වල තියෙන තිත්ත රසය නිසා ගොඩක් දෙනා ආහාරය ගන්න එතරම් කැමති නැති උනත් කරවිල කියන්නේ දියවැඩියා රෝගය ඉතාම සාර්ථකව පාලනය කරන්න විශාල වශයෙන් උපකාරී වෙන ආහාරයක්. කරවිල වල අඩංගු වෙන සමහර සංයෝග ඉන්සියුලින් වලට සමාන ක්‍රියාකාරිත්වයක් දැක්වීම නිසා සීනි සෛල වලට අවශෝෂණය කරගැනීම සිදු වෙනවා. ඒ වගේම කරවිල වල විටමින් A, විටමින් C විටමින් E සහ පොටෑසියම්, කැල්සියම්, මැග්නීසියම් සහ යකඩ වගේ පෝෂක පදාර්ථ විශාල ගණනක් අඩංගුයි. මේ නිසා දියවැඩියා රෝගීන් වගේම අනෙක් අයටත් කරවිල කියන්නේ ඉතාම ගුණ ආහාරයක්. කරවිල ව්‍යංජනයක්, සම්බෝලයක්,  බැදුමක් හෝ පානයක් විදිහට උනත් ලසකසා ගන්න ඔබට පුළුවන්.

ගෝවා මල්

ගොඩක් දෙනා කන්න කැමති ගෝවා මල් කියන්නෙත් දියවැඩියාවට කදිම ආහාරයක්. ගෝව මල් වල සීනි අඩංගු වෙන්නේ ඉතාම අඩු ප්‍රමාණයක් වීම වගේම මේවට රුධිරයේ සීනි මට්ටම අඩු කිරීමේ හැකියාවත් තියෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුල ගෝවා මල් වල ප්‍රෝටීන්, විටමින් c සහ ෆෝලේට් කියන පෝෂක අඩංගුයි.ඒ වගේම ගෝව මල් කියන්නේ කෙඳි බහුල ආහාරයක්.

මේදමය මාළු 

මේදමය මාළු කියන්නෙත් දියවැඩියාව පාලනය කරන්න වගේම හෘද රෝග අවදානම අඩු කරගන්නත් උපකාරී වෙන ආහාරයක්.  මකරල්, සැමන්, සාඩින්, සහ  හුරුල්ලෝ වගේ මාළු වර්ග මේදමය මාළු කාණ්ඩයට අයත් වෙනවා. හාවඩ් විශ්වවිද්‍යාල විසින් කරපු පර්යේෂණයකට අනුව හෘද රෝග ඇතිවීමේ අවදානම 40%කින් වගේ අඩු කරන්න මේවට පුළුවන්. 

ඔලිව් ඔයිල් 

ලංකාවේ ගොඩක් දෙන ආහාර එක්ක පොල්තෙල් හෝ එළවලු තෙල් භාවිතා කරන්න පුරුදු වෙලා ඉන්නවනේ. හැබැයි ඒ තෙල් වර්ග කියන්නේ රෝග රැසකට අත වනන දෙයක්. හැබැයි ඔලිව් ඔයිල් කියන්නේ ශරීරයට හිතකර මේදය අඩංගු වෙන තෙල් වර්ගයක්. මේ නිසා ඔලිව් ඔයිල් වලට අපේ ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරිත්වය වැඩි කරන්න පුළුවන්. කොහොම උනත් කැලරි බහුල දෙයක් නිසා ඉතාම සුළු වශයෙන් තම ආහාර වලට එකතු කරගනන එක තමයි වඩාත් හොඳ.

පලා වර්ග 

පලා වර්ග ආහාරයට ගන්න එකෙන් ගොඩක් ලෙඩ රෝග වළක්වාගන්න පුළුවන් කියලා ඔබ පොඩි කාලේ ඉඳලම අහල ඇති. පලා වර්ග අතරින් නිවිති වගේ පලා වර්ග දියවැඩියා රෝගීන්ට ඉතාම හොඳ ආහාරයක්. කාබෝහයිඩ්‍රේට අඩු පෝෂ්‍ය ගුණ වලින් අනුන පලා වර්ග නිතරම ආහාර වේලට එකතු කරන්න එක ඕනෑම කෙනෙක්ට පහසුවෙන් වැඩි වියදමක් නැතුවම කරන්න පුළුවන්. නිවිති වලට අමතරව තෙබු කොළ කියන්නෙත් දියවැඩියාව පාලනය උපකාරී වෙන පලා වර්ගයක්.

ඕට්ස් 

විටමින් වර්ග, මැග්නීසියම්, කොපර්, යකඩ වගේ පෝෂක බහුල ආහාරයක් වෙන ඕට්ස් වල තන්තු බහුලව අඩංගු වෙනවා. ඒ වගේම ඕට්ස් වල බෙටාග්ලුකන් කියන දියවෙන සුළු තන්තු දියවැඩියාව පාලනය බෙහෙවින් උපකාරී වෙන සංඝටකයක්. ලංකාවේ ඕනෑම සුපිරි වෙළඳසැලකින් ඕට්ස් ඔබට මිලදී ගන්න පුළුවන්.

අලිගැටපේර 

අලිගැට පෙර කියන්නේ රස වගේන ගුණයෙනුත් අනූන පළතුරක්. අලිගැටපෙර වලත් ශරීරයට හිතකර මේදය අඩංගු වෙනවා. ඒ වගේම මේවයේ තියෙන ආහාරමය තන්තු මගින් කාබෝහයිඩ්‍රේට ජීර්ණය කිරීම  වගේම ඒවා ශරීරයට උරාගැනීමේ වේගය අඩු කරනවා. කොහොම උනත් අලිගැට පෙර කනකොට සීනි දාගෙන කන එක නම් එච්චර හොඳ දෙයක් නෙවෙයි.

බතල 

දියවැඩියා රෝගියෙකුට අර්තාපල් වෙනුවට ආහාරයට ගන්න පුළුවන් හොඳම ආදේශකයක් විදිහට බතල හඳුන්වන්න පුළුවන්. අර්තාපල් වලින් ලැබෙන සීනි ප්‍රමාණයට වැඩ 30%ක් විතර අඩුවෙන් තමයි බතල අහාරයට ගැනීමෙන් ශරීරයට ලැබෙන්නේ. ඒ වගේම බතල වල අඩංගු තන්තු ශරීරයේ කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නත් උපකාරී වෙනවා. ඒ විතරක් නෙවෙයි බතල වල අඩංගු සමහර සංඝටක නිසා ශරීරයේ ඉන්සියුලින් ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සිදු වෙනවා.

ඇඹරල්ලා 

විටමිබ් බහුල රසවත් ආහාරයක් වෙන ඇඹරල්ලා දියවැඩියාවට ඉතාම ගුණදායක ආහාරයක්. ඇඹරල්ලා අමුවෙන් නැත්නම් ව්‍යංජනයයක් විදිහට උනත් ආහාරයට ගන්න පුළුවන්. ඒ වගේම අවශ්‍ය නම් ඇඹරල්ලා වලින් පානයක් සකස් කරන්න උනත් ඔබට පුළුවන්.

සුදුළුනු 

නවතම පර්යේෂණ වලට අනුව දියවැඩියාව පාලනයට අමු සුදුළුනු ආහාරයට ගැනීම සාර්ථක ක්‍රමයක් කියලා හෙළි වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි සුදුළුනු කියන්නේ හෘද රෝග, අධි රුධිර පීඩනය වගේම කොලෙස්ටරෝල් වලටත් ඉතාම ගුණ ආහාරයක්.